සමාජවාදය තුළ මානව හිමිකම්...

සමාජවාදය තුළ මානව හිමිකම්...
පළමු  කොටස-
සමාජවාදය  යනු මානව හිමිකම් වලට විරුද්ධ අර්ථය දෙන පදයක් ලෙස ජනතාව  අතර  තහවුරු කිරීමට  ධනපති පංතිය උත්සාහ  දරයි. අධිරාජ්‍යවාදීන් විසින් මානව  හිමිකම් උල්ලංඝනය කරන්නේ  යැයි චෝදනා  නොකරන  ලද  සමාජවාදී රාජ්‍යයක්  නොමැති තරම්ය. ආසන්නම  අත්දැකීම  වන්නේ  එක්සත් ජනපද  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී  කියුබාවට  එරෙහිව  කරන  ලද  ප්‍රකාශයයි. කියුබාව මානව  හිමිකම්  කඩ කරන බැවින් එරටට එරෙහිව  පනවා ඇති  සම්බාධක  දිගටම පවත්වා ගෙන යන්නේ යැයි එහිදී ඔහු  ප්‍රකාශ  කර  තිබුණි.

මානව  හිමිකම්  යනු මොනවාද...?
ජාත්‍යන්තර  වර්ගීකරණයට  අනුව මානව  හිමිකම්  ප්‍රධාන  කාණ්ඩ  03කට  වර්ග  කර  ඇත.  පළමු පරම්පරාවේ  මානව  හිමිකම්,  දෙවන  පරම්පරාවේ  මානව  හිමිකම්, සහ  තෙවන  පරම්පරාවේ  මනව  හිමිකම් ලෙසය.
පළමු පරම්පරාවේ  මානව  හිමිකම්  කාණ්ඩයට  මූලික  වශයෙන්  අයත් වන්නේ දේශපාලන  හා  සිවිල්  අයිතිවාසිකම්ය.  එනම්  කතා  කිරීමේ,  රැස්වීමේ,  කැමති  ආගමක්  ඇදහීමේ  නිදහස  ආදියයි. මේවා  මූලික  වශයෙන් පැන  නගින්නේ  ධනවාදයේ  උපතත්  සමගයි. මෙම  මානව  හිමිකම්  පදනම් වී  ඇත්තේ  ජෝන්  ලෝක්ගේ  දාර්ශනික  පැහැදිලි කිරීම්,  මැග්නා  කාර්ටා  ගිවිසුම,  මිනිස්  අයිතීන්  පිළිබද  ප්‍රංශ  ප්‍රකාශනය,  අයිතීන්  පිළිබද එක්සත් ජනපද  පනත  ආදිය  මතය.

දෙවන  පරම්පරාවේ  මානව  හිමිකම් කාණ්ඩයට  අයත් වන්නේ,  මිනිසාගේ  සමාජ ආර්ථික  අයිතීන්ය. අධ්‍යාපන, සෞඛ්‍ය,  නිවාස, සමාජ  ආරක්ෂණ  අදී  අයිතීන්ය. මෙම  අයිතීන්  මූලික  මිනිස්  අයිතීන්  හැටියට  තහවුරුව  ලබන්නේ සමාජවාදී  චින්තකයින්ගේ  සහ  මාක්ස්වාදීන්ගේ  බලපෑමෙනි.

සුළු ජන  කොටස්වල  අයිතීන්, ජනවාර්ගික  අයිතීන්,  කාන්තා  අයිතීන්,  පාරිසරික  අයිතීන්  වැනි දේ තෙවැනි  පරම්පරාවේ  මානව  හිමිකම්  කාණ්ඩයට  අයත් වේ.මානව  හිමිකම්  පිළිබද  විශ්ව  ප්‍රකාශනය  සැකසෙන්නේ  ඉහත  පරම්පරා තුනේම  මානව  හිමිකම්  සැලකීල්ලට  ලක් කිරීමෙනි. දේශපාල  හා  ආර්ථික  අයිතීන්  යන  දෙකම  ඇතුලත් වන සේ  සකසා  ඇති  මෙම  ප්‍රකාශනය  මූලධර්ම  30කින්  සමන්විතය

අධිරාජ්‍යවාදීන් හා ධනේශ්වර  මත සකසන්නන් ප්‍රකාශනයේදී සමාජ  ආර්ථික  අයිතීන්ද  මානව  හිමිකම් ලෙස පිළිගත්තද භාවිතයේදී  ඒවා  මානව  හිමිකම් ලෙස නොසලකති. ඔවුහු  සමාජවාදී  රටවල  කතා කිරීමේ, රැස්වීමේ නිදහස  නැතැයි  චෝදනා   කළද  සැමට  අධ්‍යාපන අයිතිය  නැතැයි   හෝ සැමට  සෞඛ්‍ය, නිවාස  අයිතීන්  ලබාදී  නැතැයි  චෝදනා  නොකරති.  කෙසේ  වුවද  භාවිතයේදී  ඔවුන්ට  සමාජ  ආර්ථික  අයිතීන් මානව   අයිතීන්  නොවේ.  ඒවා  කඩවීම  මානව  හිමිකම්  උල්ලංඝනය  කිරීමක්  නොවේ.


අනෙක් අතට කිසියම්  රටක්  මානව  හිමිකම් උල්ලංඝනය  කරන්නේ  යැයි  චෝදනා  කිරීමට යොදා  ගනු  ලබන  පොදු  පිළිගැනීමකට  ලක්වී  ඇති නිර්ණායකයන්ද  ඔවුන්ට  නොමැත.  මානව  හිමිකම්  පිළිබදව  කාගේත්  පොදු  පිළිගැනීමට  ලක්වූ මානව  හිමිකම්  පිළිබදව  විශ්ව  ප්‍රකාශනය   ඔවුහු   නිර්ණායකයන්  ලෙස  භාවිතා  නොකරති. මානව හිමිකම්  පිළිබද ඔවුන්ගේ  නිර්ණායකය  වන්නේ  කිසියම්  රටක්   අධිරාජ්‍යවාදයේ  න්‍යාය   පත්‍රයට  කෙතරම්  බාධාකාරීද  යන්න  පමණකි.  සමාජවාදයේදී  මානව  හිමිකම්  උල්ලංඝනය  වේද  යන්න අධිරාජ්‍යවාදී  ආයතනවල  සහ  ධනේශ්වර  මත  සකසන්නන්ගේ  ප්‍රකාශ  මත, වාර්තා  මත  තීරණය  කිරීම  වැරදි  සහගත  වන්නේ  එබැවිනි.
































































































































Comments

Popular posts from this blog

ජාතික ගැටළුව විමසමු... දහවැනි කොටස... තෙවන නිමාව... ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව....