ජාතික ගැටළුව විමසමු...

ජාතික  ගැටළුව විමසමු...
පළමු  කොටස...

පිවිසුම...
දශක  03ක් තිස්සේ  පැවැති  බෙදුම්වාදී  යුද්ධයේ  අවසානයත්  සමගම  ජාතික  ප්‍රශ්නය  සම්බන්ඳව කතිකාව  අලුත් වී  තිබේ.  ඒ  අතර  පෙර  මෙන්ම්  ධනේෂ්වර, සුළු  ධනේෂ්වර  හා  වාමාංශික  යැයි  කියාගන්නා  දේශපාලන  පක්ෂ  විසිනුත්  රාජ්‍ය නොවන  සංවිධාන හා සමහර  සිවිල්  බුද්ධිමතුන්  විසිනුත්  ඉදිරිපත් කරනු ලබන  නිර්මාක්ස්වාදී හා  අවිද්‍යාත්මක  මතවාදයන්  හේතුකොට ගෙන   ලංකාවේ  ජාතික   ගැටලුව  පිළිබඳව   බරපතල  මතවාදී   ව්‍යාකූලත්වයක්  නිර්මාණයවී  ඇත.



ජාතික  ගැටලුව  පිලිබදව  හැදෑරීම...
මේ සදහා අප විසින්  විද්‍යාත්මක  විධික්‍රමයක් භාවිතා  කළ යුතුය. ඕනෑම  ගැටලුවක්   වටහා  ගැනීමේ   විද්‍යාත්මක   විධික්‍රමයක්  ලෙස  එම  ගැටළුව-
01... ඓතිහාසිකවත්.
02... විෂය  මූලිකවත්.
03... සංයුක්තවත්  විමසා  බැලිය  යුතුය.

ඕනෑම  ගැටළුවක්  පැන නැගීමේ  ඓතිහාසික  තත්වයන්  හා  එයට  හේතු පාදක  වූ  සමස්ථ  කරුණු  පද්ධතියම  සොයා බැලිය  යුතුය.  එලෙසම  කිසියම්  ගැටළුවක්  හුදෙකලා  කොට  වෙන්වෙන්ව  අධ්‍යයනය  කළ  නොහැක.  මෙය  වැරදි  ක්‍රමයකි.  කිසියම්  සිදුවීමක්  හුදෙකලාව   නොපවතී.  ඒ  නිසා   අනෙකුත්  සියළුම  සිදුවීම්  සමස්ථය  සමග  ඊට  ඇති  සම්බන්ධය  තුල  එම  ගැටළුව  වටහා  ගත  යුතුය.  එමගින්  පමණක්  නිවැරැදි විසඳුම් සෙවිය  හැකි  වනු  ඇත.

ජාතික   ගැටළුව  යනු  කුමක්ද...?
"ජාතික  ගැටළුව  යනු  ජාතීන්ගේ  විමුක්තියේ  හ  නිදහස්  සංවර්ධනයේ ගැටළුවයි. ජාතික  ගැටළුවට  ප්‍රවේශ  විය යුත්තේ  ඓතිහාසික වශයෙනි.  මන්ද? විවිධ  යුගයන් වලදී  එහි  අඩංගුව  හා  වැදගත්කම  එක  සමාන  නොවන  හෙයිනි".
පොදුවේ  ගත්කල  ජාතික  ගැටළුව  පිළිබඳව  ශබ්ධකෝෂයේ  සඳහන් වන්නේ  එසේය.

ධනවාදයේ  මුල්  අවධියේදී  එනම්  ජාතීන්  බිහිවීමේ  යුගයේදී  ජාතික  ගැටළුව  යනු  වැඩවසම්  ක්‍රමය  පෙරලා   දමමින්  ධනේෂ්වර  ජාතික  රාජ්‍ය  බිහිවීම  හා  වැඩවසම්  ආධිපත්‍යයෙන්  මිදී  ජාතියක්  ලෙස  සංවර්ධනය  වීම   හා  සම්බන්ධ  කාරණාවක්  විය.  අධිරාජ්‍යවාදී  යුගයේදී   එය  යටත්විජිත  හා  පරාධීන  ජාතීන්ගේ  විමුක්තිය  හා  බැඳුනු  ප්‍රශ්ණයක්  විය.

මේ අනුව  ධනපති ක්‍රමය  තුල  එක් එක්  වකවානුවලදී  ජාතික  ප්‍රශ්නයෙහි  ස්වභාවය  මෙන්ම  වැදගත්කම  එකිනෙකට  වෙනස්  ආකාරයක්  ගන්නා  බව  පැහැදිලිය.

ඒනිසා   ලංකාවේ  ජාතික  ගැටළුවද  හඳුනාගත  යුත්තේ  මෙම  ඓතිහාසික  තත්වයන්  සැළකිල්ලට  ගනිමින්  කෙරෙන  ඇගයීමක්  තුළිනි.  ඒ අනුව  ලංකාවේ  ජාතික  ප්‍රශ්ණය  අරඹයා  ධනේෂ්වර  ක්‍රමයේ  සංවර්ධනය  පැහැදිළි  ලෙසම  බළපා  තිබෙන  බවට  පැහැදිළිය.  මෙරට  ධනේෂ්වර  ක්‍රමය බ්‍රිතාන්‍ය   යටත්විජිතයක්ව  පැවැති  වකවානුව  තුල  ගොඩනැගුනු  අතර  එහි ප්‍රතිපලයක් ලෙස  එකිනෙකට  වෙනස් ස්වභාවයන්ගෙන්  යුක්තවූත්,  ධනපති ක්‍රමය   ගොඩනැගෙනවිට    එක් ජාතියක් ලෙස  ස්වීකරණය  වී  නොතිබුනාවූත්  වෙනස්  ජන  කොටස් කීපයක්  ලෙස   සිංහල,  දමිළ,  හා  මුස්ලිම්  ජාතිකත්වයෙන්    වෙන  වෙනම  පැවතුනාවූත් ධනේෂ්වර  ජාතික  රාජ්‍යයක්  නිර්මාණය  විය.

කෙටියෙන්  පවසන්නේ  නම්  ලංකාවේ  ජාතික  ගැටළුව  යනු  ලංකාවේ  ධනේෂ්වර ක්‍රමය  බිහිවීමේදී   සියලු  ජාතිකත්වයන්  ස්වීකරණයවී   ඒක ජාතික  රාජ්‍යයක්   බිහිවනවා  වෙනුවට  ජාතිකත්ව  වෙනස්කම්  ඉතිරි කර  ගනිමින්  හා  පවත්වා ගනිමින්  බහු ජාතික  රාජ්‍යයක්  බවට  පත්වීම  තුළ  බිහිවූ  ගැටළුවය....


ඉතිරි කොටස්  ඉදිරියට....

Comments

Popular posts from this blog

සමාජවාදය තුළ මානව හිමිකම්...

ෆැසිස්ට්වාදය.....?